මනසින් ලෝකය දකින්නට ...

මනසින් ලෝකය දකින්නට ...

Sunday, March 17, 2013

අනාගත නායකයාට විශාල අභියෝගයක්..


     තිස් වසරක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට තිත තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසයට එක්වූයේ රට එක්සේසත් කළ නායකයකු ලෙසිනි. ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර ඔවුන් වැඩි අවධානයක් යොමුකරනු ලැබුවේ භෞතික සංවර්ධනයටය. ඒ අනුව අධිවේගී මාර්ග, වරාය සහ ගුවන්තොටුපල මෙන්ම තවත් බොහෝ ව්‍යාපෘති එමගින් ඇරඹිණ. ඒ අතරතුර ඒ සඳහා විදේශ රට වලින් අධික පොලී වාණිජ ණය ලබා ගනු ලැබුවේ අසීමිතවය. එවැනි අධීක ණය ලබාගැනීමේදී ව්‍යාපෘති වල ශක්‍යතාවය අධ්‍යනය කළ යුතු වුවත් එම ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ සැලැස්මක් නොමැති වීම විශාල ගැටලුවකි. උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය නිසි ක්‍රියාකාරීත්වයකින් නොමැතිවීම රටේ ආර්ථිකයට විශාල බලපෑමකි. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගය සාර්ථක වීම යම් පමණක අස්වැසිල්ලකි.
        රටක සංවර්ධනය යනු භෞතික සංවර්ධනය පමණක් නොවන අතර සංවර්ධනයේ ප්‍රධානම තැනක් ගන්නේ අධ්‍යාපනයයි. නිසි අධ්‍යාපනයක් නොලැබූ ජනතාවක් සංවර්ධනය කරා ගෙන යන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. රටේ පාලන තත්ත්‍රය සඳහා කිසිදු සමාජ දැනුමක් නොමැති වංචාකාරී පුද්ගලයන් පත්කරන්නේ ජනතාව තුල පවතින අඩු අධ්‍යාපනය නිසාවෙනි. අවම වශයෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහය සහ ආණ්ඩුවක් සහ රජය යනු කුමක්දැයි අවබෝධයක් නොමැත. රජයට ආදායම් ලැබෙන්නේ කෙසේද යන්න සහ රජය සියලු වියදම් සිදුකරන්නේ ජනතාවගෙන් උපයාගෙන බව ඔවුනට අවබෝධයක් නැත. එබැවින් මැති ඇමතිවරුන් පිළිබඳ ඔවුන් සලකන්නේ වීරත්වයෙනි.
    ආණ්ඩුව තම දැක්ම අනුව සංවර්ධන ගමන යද්දී රටේ කොඳු නාරටිය බඳු නීතිය පිලිබඳ තැකීමක් කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය දූෂණයට ලක්කරමින් ඔවුන් බොහෝවිට නීතියේ ආධිපත්‍ය විනාශ කළහ. තම හිතවත් කම අනු වරෙන්තුකරුවන් පෙනි පෙනී අත් අඩංගුවට නොගැනීම, රජයට පක්ෂපාතීත්වය දැක්වූ පසු ස්ත්‍රී දූෂණ නඩු පවා නීතිපතිවරයා ලවා ඉවත්කරගැනීම මෙන්ම දේශපාලකයන් බොහෝදෙනා කෙරෙහි නීතිය වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නීතියේ බිඳවැටීමට විශාල වශයෙන් හේතුවිය. රජයේ ආයතන ගණනාවක විවිධ වංචා දූෂණ සිදුවෙද්දී රටේ නායකයන් ඒවා නොදුටුවා සේ සිටීමත් හඳුනාගත් වැරදිකරුවන් හට නිසි දඬුවම් ලබා නොදීමත් රාජ්‍ය සේවයේ පවතින දූෂණ සහ අක්‍රමිකතාවලට තවත් පිටිබලයක් විය.
     පෞද්ගලික අංශය විසින් ගිලගනිමින් පවතින ප්‍රවාහන සේවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ තවත් බොහෝ සේවා කෙරෙහි වත්මන් ආණ්ඩුව නිසි අවධානයක් යොමුකරනු ලැබුවේ නැත. දිගුකාලීන ජාතික සැලසුම් තුලින් ගොඩගත යුතු එකී සේවාවන් තවත් වලටම වැටුනා මිස ඒ සඳහා නිසි පිළියම් ලැබුනේ නැත. අධ්‍යාපනය උපකාරක පන්තියටත් සෞඛ්‍යය පෞද්ගලික රෝහලටත් යොමුවන කාලයක රටේ ජනතාවගෙන් අයකළ බදු මුදල්ද යොදවන්නේ නිසිලෙස නොලැබෙන සේවාවන්ටය. ජනතාව රජයට බදුත් ගෙවා පෞද්ගලික රෝහලේ බිලත් ගෙවිය යුතුය. උපකාරක පන්ති ගාස්තුවත් ගෙවිය යුතුය. මේ තත්වය දිගට පවත්වාගෙන යාම තුලින් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුවට ඒ පිලිබඳ දීර්ඝකාලීන දැක්මක් නොමැති බවය. යෝධ සංස්කරණයක් තුලින් රටට ප්‍රාඥයන් බිහිකරන යුගයකට අධ්‍යාපනය රැගෙන යන්නට නව දේශපාලන ධාරාවක් අවශ්‍යමය. එයට මුදල් සහ භෞතික සම්පත් වෙනුවෙන් දේශපාලනය නොකරන අවංක බුද්ධිමතුන් පිරිසක් අවශ්‍යය.
       තම පුද්ගලික අරමුණු පසෙක තබා රටේ පොදු යහපත වෙනුවෙන් ජනතා බලයෙන් පත්වන ඉදිරි නායකයකුට මූලික වශයෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ. රටේ නීතිය ශක්තිමත් කොට එය දේශපාලන බලපෑමෙන් මුදවා ගැනීමත් භෞතික සංවර්ධනයෙන් ඔබ්බට ගොස් මානව සංවර්ධනය රටේ ප්‍රධාන සංවර්ධන දැක්ම බවට පත්කිරීම කළ යුතු ප්‍රධාන කාර්යයි. විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගනිමින් හම්බන්තොටට කේන්ද්‍රගත කළ ලංකාවේ දෙවන ජාත්‍යන්තර වෙලඳ නගරය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කොට එය යථාර්ථයක් බවට පත්කිරීම එහි එක් අංගයකි. එමගින් ණය ආපසු ගෙවීම් සඳහා රටේ ආර්ථිකයට දරන්නට වන බර අඩුවනවා සේම ආර්ථිකයද ශක්තිමත් වීම සිදුවේ. එබැවින් ඉදිරියේ බිහිවන ජනතා නායකයකුට ඉහත කී කාරණාද ඇතුලුව රාජ්‍ය සේවය අකාර්යක්ෂමතාවයෙන් හා දූෂණයෙන් මුදාගැනීම, සෞඛ්‍ය සේවය විධිමත් කිරීම, අධ්‍යාපනය වත්මනට ගැලපෙන ලෙස යාවත්කාල කිරීම සහ දේශපාලන ධාරාව සුබවාදී මාවතකට යොමූකිරීම වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ.


සංවාදයට විවෘතයි

Saturday, February 9, 2013

විනිසුරන්ද අමනයන් ලෙස හැසිරේ නම් ..


රටක නීතිය පවත්වාගෙන යාම සඳහා පවතින ප්‍රධානම ආයතනයක් වන අධිකරණ පද්ධතිය ස්වාධීනව මෙන්ම අතිශය සමබරව පැවතීම අත්‍යාවශ්‍ය කාරණයකි. යුක්තිය පසිඳලීම සඳහා නීතියේ භාවිතය පිලිබඳ මනා පලපුරුද්දක් සහිත විනිසුරුවරුන් පත් කරන්නේ ඒ නිසාවෙනි. චූදිතයාට එල්ලවී ඇති චෝදනා සළකා බලා ඔහුගේ නිදහසට කරුණුද තවත් සාක්ෂීද කැටිකොට ලබාදිය හැකි සමබරම සාධාරණම තීන්දුව තීතියේ සීමාවට යටත්ව ලබාදීම විනිසුරුවරුන්ගේ වගකීමයි.
    නමුත් සමාන මටිටමේ චෝදනා සඳහා විවිධාකාරයේ දඬුවම් ලබාදීමත් එක් විසුරෙක් වසර කීපයක සිර දඬුවමක් නියම කරන විට තවත් විනිසුරෙක් ඒ හා සමාන වරදකට මරණ දණ්ඩනය නියම කිරීමත් මගින් නීතිය පිළිබඳව ජනතාවට ඇතිකරන්නේ අවිශ්වාසයකි. එසේම ස්ත්‍රී දූෂකයකු රක්ෂීත බන්ධනාගාරයෙන් මුදාහැරීමට අයකරන ඇප මුදල මෙන් පස්ගුණයක් කුඩා සොරකමක් කළ අයකු මුදාහැරීමට අයකිරීම හාස්‍යට කරුණකි.
   විනිසුරන්ට තම තීරණ ගැනීම සඳහා නීතිය තුල වැඩි පරාසයක් ලබා දී තිබුණද ඔවුන් එය භාවිතා කළ යුත්තේ සමාජයේ යහපතට මිස තම අත්තනෝමතික තීරණ උදෙසා සහ තම බලය පෙන්වීමට නොවේ. එසේ කිරීමට යාමෙන් අසරණ ජනතාව කබලෙන් ලිපට වැටෙන්නේ තම රැකවරණයට ඇති අවසාන අවස්ථාවද අහිමි වීමෙනි. එසේම ඇතැම් උසාවි වල දිනකට මරණ දඬුවම් දෙකතුනක් නියම කරන බව ජනතාව තුල මතයක් ඇත. එය සැබැවින්ම එම උසාවියේ විභාග වන නඩුවල විශේෂත්වයක් නොව එහි මූලාසනය හොබවන විනිසුරාගේ විශේෂත්වයකි.
එසේම දේශපාලන බලය දැන හැඳුනුම්කම් සහ මුදල් මත උසාවි තීන්දු රඳා පවතින බව ජනතාව විශ්වාස කරයි. ජනතාව තුල ඇති මෙවැනි ආකල්ප රටක අපරාධ වැඩිවීමටද  ප්‍රධාන හේතුවකි.  නීතියෙන් ගැලවී යාම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි මෙකී සියලු උපක්‍රම භාවිතා කරයි. යම් අපරාධයකට හේතු කාරණාවන ආසන්න හේතුව කුමක් වුවත් ජනතා ආකල්ප සහ සමාජයේ පවතින රටාව එකී අපරාධය තුල විශාල භූමිකාවකට පණ පොවයි.  වචන හුවමාරුව පහරදීමක් දක්වාද පහරදීම මිනීමැරුමක් දක්වාද පහසුවෙන්  දුරදිග යාමට මෙම කරුණු විශාල ලෙස බලපායි.
එසේම  ස්ත්‍රී දූෂණ නඩු වලදී වින්දිතයන් පීඩනයට ලක්කොට දූෂකයන් නිදහස් වීමද ඉතා අවාසනාවන්ත තත්වයකි. නඩු ඇසීම ඉතා දීර්ඝ කාලයක් පැවතීම සහ ආර්ථික දුෂ්කරතා හමුවේ දූෂකයාට නිදහස් වීමට වැඩි ඉඩකඩක්ද ලැබේ. සමාජය මගින්ද නොයෙකුත් දෝශාරෝපනයන්ට ලක්වන්නේ කාන්තාවයි. අවසානයේ මාධ්‍ය වල ගොදුරක් බවට පත්වී දූෂණයට ලක්වූ කාන්තාව තරුණිය හෝ දැරිය ජීවිතයෙන්ද සමුගන්නේ මේ දූෂිත සමාජ රටාවට සාපයක් එක් කරමිනි. 


සංවාදයට විවෘතයි

Monday, February 4, 2013

නායකත්වයේ භීතිකාව නොහොත් දෙවනපෙළ නායකත්වය


දේශපාලනයේ මූලිකම කාරණය වන්නේ තම බලය තහවුරු කර ගැනීමයි. රජවරුන් විසින් තමන්ට අභියෝගයක් වියහැකි පුද්ගලයන් මරා දමා තම බලය රැකගත්තාක් මෙන් වර්තමානයේද ඒ හා සමාන නොයෙක් ක්‍රියාවලීන් සිදුවෙයි. උදාහරණයක් ලෙස ඉතාම වයෝවෘද්ධ අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගන්නේ යම් මට්ටමකට එවැන්නක්ද හේතුපාදක කරගෙනය. එයට බලපාන තවත් බොහෝ හේතු නැතුවාද නොවේ. එම කරුණට අමතරව අමාත්‍ය තනතුරු ලබාදීමේදීද ප්‍රමුඛ අවධානය යොමුවන්නේ රටේ සංවර්ධනය නොව තම දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමය. මාධය ඉදිරියේ වන්දිභට්ටයන් සේ හැසිරෙන කීකරු අයට බොහෝ වරප්‍රසාද ලැබෙයි. එමෙන්ම විපක්ෂය මර්දනය කිරීමට සහ රජයට එරෙහි බලවේග ඉදිරියේ පෙනී සිටින්නන්ටද තම අභිලාශයන් පරිදි වරප්‍රසාද හිමිවෙයි.
     වත්මන් රජය අවසාන වරට සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විදුලිබල මණ්ඩලය ලාභදායී තත්වයට පත්කිරීමට අපමණ වෙහෙසක් දරන සහ එම විෂයෙහි ප්‍රවිණයකු වන පුද්ගලයා වෙනුවට කිසිදු අදාලත්වයක් හෝ නොමැති අයකු අමාත්‍යවරිය ලෙස පත්කිරීමද එකී බලය රැකගැනීමේ උත්සාහයේ එක් පියවරකි. මෙහිදී ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සියලු දෙනාම තම වාසිය උදේසා පමණක්ම දේශපාලනයෙහි නිරත වන්නේ යැයි කිසිලෙසකත් කිව නොහැකිය. වංචාකාරයන් මැරයන් මැද මහත්මා දේශපාලනඥයන් රැසක්ද රටේ උන්නතිය වෙනුවෙන් නොපසුබට සටනක නිරත වී සිටියි. එහෙත් මූලික ප්‍රවාහය තුල තම දේශපාලන පැවැත්ම සඳහා බොහෝ දෙනකුට තම පුද්ගලික දර්ශනයන් පාවා දීමට සිදුවෙයි. එය රටක් වශයෙන් ගත්කල අවාසනාවන්ත තත්වයකි. පසුපෙල දක්ෂ නායකයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් දෙවන පෙලක් ලෙස සකස් කිරීම දූරදර්ශී ක්‍රියාවක් වුවත් මෙම දූෂීත දේශපාලන රටාව තුල සිදුවන්නේ එම අදහස්, ඉහල නායකත්වයෙන් ලැබෙන වරප්‍රසාද උදෙසා හකුලා ගැනීමටය. නැතහොත් ඉහල නායකත්වය තම බලය පිළිබඳ ඇතිකරගන්නා භීතිකාවේ ගොදුරක් වීමට ඔවුනට සිදුවන්නේය. 
   මෙම තත්වය වෙනස් කොට රට ඉදිරියට ගෙනයාමට විවෘත මනසකින් සිතන පරමාදර්ශී නායකයන් බිහිවිය යුතුය. පුද්ගලික ව්‍යාපාරික අරමුණු, බල තණ්හාව සහ පවුල්වාදය කරපින්නා ගත් නායකයන්ට මෙම ක්‍රමයෙන් මිදීමට කිසිදු අවකාශයක් නොමැත. මන්ද යත් ඔවුන් මෙතෙක් පැමිණි දේශපාලන ගමන්මග නිසාම ඔවුහු එහි නොයෙක් බැදීම් වලට යටත් වී සිටිති.. ඒ අනුව ක්‍රියාකිරීම හැර ඔවුනට කිසිදු විකග්පයක් නොමැත. ඒ අනුව රටට සැබෑ අරුණාලෝකයක් ගෙන ආ හැක්කේ නිවහල් චින්තකයකුට පමණි. එවන් නායකත්වයක් හිමිවූ දිනෙක අප රට සැබැවින්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විශ්වය ඉදිරියේ දිලෙනු ඇත.

සංවාදයට විවෘතයි
සටහන - අමරනාත්

Friday, December 21, 2012

අගවිනිසුරු ධූරය දරන්නා කවුරුන් වුවත් එම තනතුරේ ගෞරවය රැකිය යුතුය.

රටේ නායකත්වයේ සුරතින් පිරිනැමුනු අගවිනිසුරු ධූරය යම් කටයුත්තක් වෙනුවෙන් ලැබුනු තුටු පඬුරක් යැයි  එම කාලයේ විපක්ෂයේ මතය විය. එකී මතය තුල සිට නොයෙකුත් කාරණා වලදී අගවිනිසුරුවරිය කෙරෙහි විරුද්ඡවාදී මතයක් දැක්වූ විපක්ෂය තම මතය කණපිට හැරවූයේ ආණ්ඩුව තම ඒකාධිපති රූකඩ නැටුමට අගවිනිසුරු තනතුර හොබවන්නිය නොගැලපෙන බව තීරණය කිරීමෙන් අනතුරුවය. විධායකයේ නූල් ඇදීමට නැටවීම නතරවූ එකී රූකඩය රඟමඩළෙන් වහාම ඉවත්කරන බවට ඉඟි පලවීමෙන් අනතුරුවය. එහෙත් එමගින් විපක්ෂයේ වෙනස යෝග්‍ය නොවන බවක් ප්‍රකාශ නොවේ. මන්ද යත්, ඇය වෙනුවෙන්ද සමාජය තුල හඬක් නැගිය යුතු බැවිනි. 
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතර අත්සන් සංඛ්‍යාවකින් ඉදිරිපත්වුනු දෝෂාභියෝග යෝජනාව අගවිනිසුරුවරියට අභියෝගයක්ම වන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකෙහිම බලය ඉහලින් වත්මන් ආණ්ඩුව නතුකරගෙන පැවතීම හේතුවෙනි. විපක්ෂයට යම් හඬක් නගනු හැරෙන්නට කල හැකි කිසිවක් ඉතිරි වී නැත. අගවිනිසුරු තනතුරට පත්කිරීම පහසු වුවත් එම තනතුර දරන්නකු ඉවත්කිරීම ව්‍යවස්ථාවට අනුව දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සුදුසු පුද්ගලයන් යොදවා අවශ්‍ය කටයුතු මනාව ආණ්ඩුව විසින් සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණ.
   ඉහත කී කරුණු කෙසේ වෙතත් පොදු ජනතාවට ඇතිවන කුතුහලය වන්නේ අගවිනිසුරුවරියට මෙසේ දෝෂ දක්වන්නේ සද්භාවයේ උපරිමයට ගිය දේශපාලකයන්ද යන්නයි. පිලිතුර නැත යන්නය, විවිධ ආකාරයේ වංචා දූෂණ වලට චෝදනා ලැබ, එසේම තම අමාත්‍යංශ වල විවිධ අක්‍රමිකතා සිදුකළ නිළධාරීන් පිලිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් දේශපාලකයන් මෙම දොෂාභියෝග ක්‍රියාවලියට පෙරමුණ ගෙන සිටියි.
එහෙත් ඒ කිසිවක් ඔවුනට අභියෝගයක් නොවන්නේ ඔවුනට විධායකයේ රැකවරණය ලැබෙන නිසාය. එහෙත් අධිකරණයට රැකවරණය සලසන්නේ කවුද?
    එසේම මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය දේශපාලන පක්ෂ අතර සිදුවන අඥාන ගැටුමක් සේ හූ කීම අපහාස කිරීම වැනි තත්වයට පත්කිරීම පිලිබඳ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුය. රටේ අධිකරණ පද්ධතිය එවැනි පහත් තත්වයකට පත්කිරීම තුලින් රටේ ඉදිරියට සිදුකරන්නේ ආපසු හැරවිය නොහැකි අපරාධයකි. ජනතා විශ්වාසය සහ ආකල්ප බිඳවැටීම රටේ නීතිය පවත්වාගැනීමට විශාල බාධාවක් වනු ඇත. එබැවින් මෙවැනි ක්‍රියාවලියකදී රටේ අනාගතය පිලිබඳව සිතා බුද්ධිමත්ව ක්‍රියාකල යුතුය. බලයෙන් හිස උදුම්මවාගත් පුද්ගලයන් අධිකරණය යනු කුමක්දැයි වටහාගත යුතුය. අගවිනිසුරු ධූරය දරන්නා කවුරුන් වුවත් එම තනතුරේ ගෞරවය රැකිය යුතුය. 

සංවාදයට විවෘතයි

Sunday, September 23, 2012

රට අගතියට ගෙනයන දූෂිත දේශපාලනය


වර්තමානයේ අප රට තුල සිදුවන සිදුවීම් දෙස විමසීමේදී පෙනීයන්නේ ආණ්ඩුව තම ජනප්‍රියතාවය මිස රටේ අනාගතය කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බවකි. විශ්ව විද්‍යාල ආචාර්යවරු නිදහස් අධ්‍යපන අයිතිය සුරැකීම වෙනුවෙන් මරහඬ නගද්දී වගකිවයුත්තන් නිද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කිරීම තුලින් එකී නායකයන් රටේ අනාගතය රඳා පවතින අධ්‍යාපනය පිලිබඳව දරන ආකල්පය මනාව අවබෝධ කරගත හැකිය. අධ්‍යාපන මට්ටම පහත වැටුනු කල රටකට අත්වන ඉරණම තේරුම් කරගත නොහැකි අමනෝඥ දේශපාලකයන් රට ගෙනයන්නේ අඳුරු අගාධයකටය. ආණ්ඩුව හිස මත තබාගෙන කටයුතුකරන භෞතික සංවර්ධනයේ ඵල නෙලාගැනීමට තරම් උගත් අනාගත පරපුරක් මේ සිදූවීගෙන යන කටයුතු අනුව ඉදිරියේ බිහි නොවනු ඇත. එහෙත් ආණ්ඩුව විසින් එකී නූගත් අමන පරපුර වෙතින් ඉතා පහසුවෙන් තම පක්ෂයේ සලකුණ ඉදිරියේ කතිරය සලකුණු කරගැනීම කල්වේලා ඇතිව සිදුකරගනු ඇත. උගත් බුද්ධිමත් අනාගත පරපුරක් ඇතිවීම මෙම දේශපාලන මඩගොරුවේ දඟලන ඌරන් පලවා හැරීමට හේතුවක් වනු ඇතැයි යන විශ්වාසය මත මෙසේ අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දමන්නේ දැයිද විටෙක සැකයක් මතුවේ.
            හුදෙක් පටු සුබසාධන දැක්මක පමණක් සිටින වත්මන් ආණ්ඩුව දිගුකාලීන සංවර්ධන ඉලක්කයන් කෙරෙහි කිසිදු අවධානයක් යොමුකරනු දක්නට නොලැබේ. තම පෙලපත කෙරෙහි බලය රඳවා ගැනීම, හිතවතුන් පෝෂණය කිරීම සහ ජනප්‍රියතාවය රඳවාගැනීමට සිදුකරන ක්‍රියාවන් හැර රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙලක් ඔවුන් සතුව නැත. එසේ ඇත්නම් ඔවුන් පලමුව කළ යුත්තේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවට වෙනත් සංදර්ශණ පැවැත්වීමෙන් රට තවත් වල පල්ලට යාම මිස ඉදිරියට යාමක් සිදු නොවනු ඇත.
රටේ නීතියද දේශපාලන බලවතුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව නොයෙකුත් සිදුවීම් මගින් පෙනීයයි. ඒ තත්වයන් කෙරෙහි රටේ විධායකය වන ජනපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමද රටේ ජනතාවගේ අවාසනාවකි. නීතිය අතට ගෙන ක්‍රියාකරන ආණ්ඩුවේ පුද්ගලයන් පිලිබඳ සිදුවීම් කෙරෙහි ජනපතිවරයාට සෘජු ක්‍රියාමාර්ග ගතහැකිව ඇතත් එසේ නොකර එම සිදුවීම් යටපත් කිරීම සහ යටපත් වන්නට ඉඩ හැරීම අවාසනාවන්ත තත්වයකි. එම හේතුව මත ඉදිරියටද නීතිය දේශපාලන බලය අනුව අසාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන්නේ යයි කිව හැක්කේ කා හටද? අසාධාරණ සමාජයක මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් වැඩි වැඩියෙන් ඇතිවීම සාමාන්‍ය තත්වයකි. එබැවින් අපේ රට මේ අවාසනාවන්ත තත්වයෙන් ගොඩගන්නට අවංක සෘජු නායකයන් බිහිවේවා. දූෂිත වංචාකාර දේශපාලකයන් රටේ යහපත වෙනුවෙන් තුරන්වේවා..!



සංවාදයට විවෘතයි